Water News

නියගයෙන් උතුරේ 319,551 දෙනෙකු පීඩාවේ…

28 August 2018 at 5.55 p. m.

උතුරු පලාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්‍රදේශයන්හි පිහිටි ආපදා කලමනාකරන ඒකකයන් කියා සිටියහ.

උතුරු පලාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රීක් භාර අපාදාකලමානාකරන ඒකකයන් පෙන්වා දෙයි.

මේ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 30,408කට අයත් පුද්ගලයෝ 110,156 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට අයත්  පවුල් 24,099කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක්,විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 04කට අයත්  පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක්, විපතට පත්ව ඇති බවට අදාල දිස්ත්‍රීක්කයන්හි පිහිටි ආපදා කලමනාකරන ඒකකයන් විසින් පෙන්වා දෙයි.

ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් සිඳී යාම හා වර්ෂාව නොලැබීම හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවටද ආපදා කලමනාකරන ඒකකයන්හි නිලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙයි.


නියඟය අායෙමත් ඔරවයි

09 February 2018 at 5.55 p. m.



වියළි කාලගුණය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 5ක පවුල් 85,999කට අයත් 2,71,960 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම යන දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.

මින් වැඩිම පීඩාවකට ලක්ව ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව වන අතර එහි පවුල් 62,828කට අයත් 2,02,026 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 17,194කට අයත් 50,918ක්, මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවුල් 3,312කට අයත් 10,612ක්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 2,309කට අයත් 7,278ක් සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 350කට අයත් 1,126ක් මෙසේ පීඩාවට පත්ව සිටිති.

පීඩාවට පත්වූවන් සඳහා බවුසර් යොදාගෙන ජලය සැපයීම හා වියළි ආහාර සලාක ලබාදීම කරගෙන යන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.


පළාත් කිහිපයකට හෙටින් පසු වැස්ස අඩුවන ලකුණු

09 February 2018 at 5.55 p. m.


          
දිවයිනේ පළාත් කිහිපයකට බලා පා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වය සෙනසුරාදා (10) පසු අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එසේ වුවත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්හි උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




වැහි රටා වෙනස්‌වෙලා; යල - මහ ගැන යළි සිතා බැලිය යුතුයි

08 February 2018 at 4.55 p. m.

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් - කේ. එච්. එම්. එස්‌. ප්‍රේමලාල්
 
 ජගත් කණහැරආරච්චි - Divaina

feaman134
 
  වර්ෂාව අපේ බලාපොරොත්තුවයි. අටු කොටු පුරවා රට සශ්‍රීක කරන්නට වැස්‌ස අත්‍යවශයය. එහෙත් පිට පිට යල - මහ කන්න හතරක්‌ම වතුර නැතිව ගොවිතැන් අත්හැරී ඇත. මෙවර ඊසාන දිග මෝසමෙන් අපේක්‍ෂිත වැසි නැත. කාලගුණයේ මෙම වෙනස්‌කම් රට පැත්තෙන් එච්චර හොඳ පණිවිඩයක්‌ අපට නොදේ. ඒ පිළිබඳව හා කාලගුණ විද්‍යා ක්‍ෂේත්‍රයේ තවත් තොරතුරු දැන ගැනීමේ අටියෙන් "සති - මැද දෙසතිය" ඉකුත්දා කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. එච් එම්. එස්‌. ප්‍රේමලාල් මහතා සමග කතා කළේය. මේ ඒ පිළිබඳ තොරතුරුය. 
 
 ප්‍රශ්නය - ශ්‍රී ලංකාවට ක්‍රමික වැසි ලැබීම තීන්දු වන්නේ කෙලෙසද? යල මහ වගා කන්න ඇතිවන්නේ කොහොමද?
 
 පිළිතුර - ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක්‌. ඒ නිසා අපට වර්ෂාව ලැබෙන්නේ මෝසම් මාර්ගයෙන්. ප්‍රධාන වශයෙන් අපට මෝසම් දෙකක්‌ තියෙනවා. නිරිත දිග සහ ඊසාන දිග වශයෙන්. එනම්, දිවයින හරහා හමා යන සුළං රටා මගින් තමයි මෝසම් වැසි ලැබෙන්නේ.
 
 සූර්යය ශක්‌තිය පෘථිවියට වැඩියෙන්ම ලැබෙන්නෙ සූර්යයා ගමන් කරන ප්‍රදේශයට. මේ පැත්තට ලැබෙන ශක්‌තිය අනිත් පැත්තට ගමන් කළ යුතු වෙනවා. (ශක්‌තිය සංසරණය වීම) ඇත්තට ම එසේ ගමන් කරනවා. එයයි ලෝක ස්‌වභාවය. මෙසේ ශක්‌ති තුලනය කරන විට තමයි සුළං රටා ඇතිවෙන්නේ. ඒ අනුව තමයි ලංකාවට මෝසම් කාල දෙකක්‌ හම්බ වෙන්නේ. ඊසාන දිග සහ නිරිත දිග මෝසම ලෙස. මේ දෙක අතර කාලයේ මෝසමක්‌ නැහැ. නියමිත සුළං පාදක කරගත් කාලයක්‌ නැහැ. එය තමයි අන්තර් මෝසම් කාලය. ඒ වගේ අන්තර් මෝසම් දෙක්‌ක අපට තියෙනවා. සවස්‌ යාමයේ ගිගිරුම් සහිත වැසි ඇති වෙනවා.
 
 මේ වැහි රටා සමඟ තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය පාදක වී තිබෙන්නේ. වැහි රටාව අනුව තමයි යල මහ කන්න දෙක ඇති වී තිබෙන්නේ. යල කන්නය මාර්තු සිට සැප්තැම්බර් දක්‌වාත්, එතැන් පටන් මාස හය මහ කන්නය වශයෙනුත් සලකනවා. මේක තමයි අපේ කෘෂිකාර්මික රටාව. මේ කෘෂිකාර්මික කන්න ආරම්භ වෙන්නේ අන්තර් මෝසම් කාල දෙකේදී. යල කන්නය පළමුවැනි අන්තර් මෝසමේදීත්, මහ කන්නය දෙවැනි අන්තර් මෝසම් කාලයේදීත් ආරම්භ වෙනවා. 
 
 ප්‍රශ්නය - සමස්‌තයක්‌ ලෙස රට වියළි නියං තත්ත්වයක්‌ නොවේද තියෙන්නේ?
 
 පිළිතුර - 2016 වසරේදී අපට අධික වර්ෂාපතනයක්‌ ලැබුණා. මැයි මාසයේදී ලංකාවට ම වගේ හොඳින් වැස්‌සා. නමුත් එම මාසෙන් පස්‌සෙ අපට නියමිත (රටාවකින් සමන්විත) වර්ෂාව ලැබුණේ නැහැ. එනම් 2016 වසරේදී සෘතු අනුව නියමිත වැස්‌ස ලැබුණේ නැහැ. 2017දීත් අපට වර්ෂාව ලැබුණා. නමුත් 2016 දී වර්ෂාව නොලැබී වැව්, අමුණු සිඳී තිබූ තත්ත්වය ප්‍රකෘතිමත් කරන තත්ත්වයේ වර්ෂාවක්‌ අපට ලැබුණේ නැහැ. 2018 වසර දක්‌වා පැමිණ අත්තේ ඒ නියමිත වැහි රටාවට වර්ෂාව නොලැබෙන තත්ත්වමයි. එහෙම නැතිව 2017 වසරේදීත් වැසි නොලැබුණා නොවෙයි. වැස්‌ස ලැබුණා. නමුත් කලට වෙලාවට වැව් පුරවාගන්න තරම් වැස්‌ස ලැබුණේ නැහැ. වර්ෂාපතන රටාවේ විචල්‍යතාවක්‌ ඇතිව තිබෙනවා. එය අප තේරුම් ගත යුතුයි. දේශගුණ විපර්යාස සමඟ කතා කරන තත්ත්වයක්‌ මේක. විචල්‍යතාව කියන්නේ, 2016 වසරේදී අපට තීව්‍ර වර්ෂාපතනයක්‌ ලැබුණා. ඊට පස්‌සෙ වර්ෂාව ලැබුණේ නැහැ. එනම්, සමස්‌තයක්‌ වශයෙන් ගත්තොත් වාර්ෂිකව ලැබිය යුතු සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය ලැබෙනවා. නමුත් ප්‍රයෝජනයට ගන්න විදිහක්‌ නැහැ. අපට අවශ්‍ය වේලාවට ලැබෙන්නේ නැති නිසා සහ රටාවේ වෙනස නිසා, විචල්‍යතාව නිසා. එකපාරට ම තීව්‍ර වැසි ලැබෙන තත්ත්වයකට අප පත්ව සිටිනවා. අනිත් කාලයට අපේක්‍ෂිත වැසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම දේශගුණික වෙනස්‌වීමේ තවත් වෙනස්‌ තත්ත්වයක්‌ අපේ කාලගුණික රටාව තුළ දැකගන්න පුළුවන්. ඒ ලැබෙන වැස්‌ස එක්‌ ප්‍රදේශයකට තදින් ලැබෙනවා. අවශ්‍ය අනිත් ප්‍රදේශවලට බෙදිල යන්නේ නැහැ. ඒ ප්‍රදේශ අනුව විචල්‍යතාවක්‌ පෙන්වනවා. මේකත් අපි දේශගුණික විපර්යාස යටතේ කතා කරන දෙයක්‌. ඇත්තට ම මේක ලෝකයේ බොහෝ තැන්වලටත් වර්ෂාව ලැබීමේ විචල්‍යතාවක්‌. ලංකාවත් ඊට ඇතුළත්.
 
 ප්‍රශ්නය -නමුත්, 2017 වසරේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ මාධ්‍ය වැඩසටහනකදී පැවසූ ප්‍රධානතම කරුණ වූයේ මෙවර වර්ෂාපතනය ලැබීමට අදාළ ලෝක බලපෑම් සියල්ලම පාහේ හොඳින් පවතින නිසා අපේක්‍ෂිත වර්ෂාව ලැබිය යුතු බව නේද?
 
 පිළිතුර - ඇත්තටම ලංකාවට වැස්‌ස ලැබීම තීන්දු වන්නේ ලෝක කාලගුණික රටාව අනුව, ගෝලීයව සැලකුවහොත්, වායුගෝලයේ එක්‌ එක්‌ තැන්වල සිදුවීම් වුවහොත් ඒක තවත් තැනකට බලපානවා. ලංකාවටත් එය බලපානවා (ඔeකැ ජදබබැජඑසදබි)ග එක්‌ තැනක සිදුවන දෙයක්‌ තව තැනකට බලපානවා. එනම් පවතින වායුගෝලීය සංසරණ ක්‍රියාවලිය වෙනස්‌ වෙනවා. වායුගෝලීය සංසරණය තමයි වර්ෂාව ලැබීමේ ප්‍රධාන සාධකය වෙන්නේ. මේ සඳහා පැසිපික්‌ සාගරයේ උෂ්ණත්වය දැඩිව බලපෑම් කරනවා. ලෝකයේම වර්ෂාපතන රටාව වෙනස්‌ කරන්න පැසිµsක්‌ සාගරයේ තත්ත්වය බලපානවා. සාගර අතර ලොකුම සාගරය පැසිµsක්‌. එහි උෂ්ණත්වය වෙනස්‌වීම අද ලෝකයේ තීරණාත්මක කාලගුණ සාධකයක්‌. සාමාන්‍යයෙන් සාගරයක උෂ්ණත්වය ක්‍ෂණිකව වෙනස්‌ වන දෙයක්‌ නෙවෙයි. එක දිගටම එක විදිහකට තමයි තියෙන්නේ. පැසිµsක්‌ සාගරයේ බටහිර ප්‍රදේශය කොහොමත් උණුසුම් තත්aත්වයක තියෙන්නේ. මේ උණුසුම් ප්‍රදේශය ක්‍රමයෙන් නැගෙනහිර දෙසට ගමන් කරනවා. ඒ ගමන් කරපු පසු, එනම් නැගෙනහිර පැසිµsක්‌ ප්‍රදේශය උණුසුම් වූ පසු අපි එයට "එල්නිනෝ" කියල කියනවා. ඒ වගේම, නැගෙනහිර ප්‍රදේශය යළිත් සීතල වෙනකොට අපි එයට "ලානිනා" කියල කියනවා. එනම් සාමාන්‍ය තත්ත්වයට වඩා උෂ්ණත්වය එහි අඩුවීමයි. මේ තත්ත්ව දෙකම බලපානවා. ලෝක කාලගුණික රටාවට නොහොත් ලංකාවේ වර්ෂාපතන රටාවට. අපි ඔබට කිව්වේ ඒ වගේ වෙනස්‌ රටාවක්‌ මේ අවුරුද්දෙ වාර්තා වුණේ නැහැ කියල. එහෙනම් සාමාන්‍ය වර්ෂාපතනය (රටාව) සාමාන්‍ය පරිදි ලැබෙන්නෙ ඕන කලට වෙලාවට ඊසාන දිග මෝසම සක්‍රිය වී ලැබෙන්න ඕන. වැව්, අමුණු පිරෙන්න ඕන. වගා කටයුතු කෙරෙන්න ඕන. 
 
 ඒ වගේම, ඉන්දියානු සාගරයෙන් උණුසුම් තටාකයක්‌ ලෙසයි අපි සලකන්නෙ. එනම් පැසිµsක්‌ හා ඉන්දියන් සාගර උණුසුම් තටාක දෙකක්‌. ඉන්දියානු සාගරයේත් උෂ්ණත්ව වැඩිවීම් දොaලනය වන ආකාරයක්‌a පෙන්වනවා. උදාහරණ ලෙස ගතහොත් ශ්‍රී ලංකාවට නැගෙනහිර ප්‍රදේශයේ සහ බටහිර ප්‍රදේශයේ උෂ්ණත්වය දොaලනයක්‌ තියෙනවා. එය "ඉන්දියන් ඕෂන් ඩයිපෝල්" ලෙස අපි හඳුන්වනවා. මෙය ලංකාවෙ වර්ෂාපතන රටාව වෙනස්‌ කරන එක සාධකයක්‌. මෙම තත්ත්වයත්a උදාසීන නම් අපි කියනවා බාහිර බලපෑමක්‌ නැහැ අපේක්‍ෂිත වර්ෂාපතනය ලැබෙයි කියල. ඒ ප්‍රධාන කාරණා දෙක අපි විමර්ශනය කළා. ප්‍රශ්නයක්‌ තිබුණේ නැහැ. ඒකයි අපි කිව්වෙ මෙවර සාමාන්‍ය පරිදි වැසි ලැබීමේ හැකියාව තියෙනවා කියලා. නමුත් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බලපාන තවත් කාරණා තිබේ දැයි අපි දන්නේ නැහැ. ඉහත කාරණා දෙක උදාසීන වුණත් ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව වෙනස්‌ වෙනවා නම්, ඒ සඳහා බලපාන තවත් කාරණා ඇති. ඒවා සොයා බැලිය යුතුව තිබෙනවා. ඒවා තවම හොයාගෙන නැහැ. 
 
 ප්‍රශ්නය - මේ අපි ගත කරන්නෙ 2017- 2018 මහ කන්නයේ. මෙවරත් අපි අපේක්‍ෂිත වර්ෂාව ලැබුණේ නැහැ. මේ අපට අහිමි වෙමින් පවතින්නේ පස්‌වැනි වගා කන්නය.?
 
 පිළිතුර - අපිට මෙවරත් අපේක්‍ෂිත වර්ෂාව ලැබුණා. ප්‍රශ්නය තියෙන්නේ වර්ෂාපතන ප්‍රමාණය ලැබුණාට, එය දින කිහිපයකදී තමයි ලැබුණෙ. රටාවකට වැස්‌ස ලැබුණේ නැහැ. වෙනස්‌ වූ වර්ෂාපතන රටාවේ ප්‍රශ්නය මේකයි. ගණන් හිලව් ඇතිව එය අපට ගන්න බැහැ. මෑත කාලයේදී විචල්‍යතාව අපි අධ්‍යයනය කළා. අඩු කාලයකදී වැඩි වර්ෂාපතනයක්‌ ලැබෙනවිට අපට දත්ත විශ්ලේaෂණය අපහසුයි. එය ව්‍යාකූලයි. සාමාන්‍ය පරිදි කරන්න බැහැ. දේශගුණ දත්ත දීර්ඝ කාලයක්‌ විමර්ශනය කරල තමයි අපි දත්ත ගොඩනඟන්නෙ. උදාහරණ ලෙස ගත්තොත් "එල්නිනෝ" "ලානිනා" තත්ත්ව සාමාන්‍යයෙන් අවුරුදු හතරකට වරක්‌ තමයි වාර්තා වෙන්නේ. ඒ රටාව අල්ලගන්නත් දශක කිහිපයක්‌ දත්ත විශ්ලේෂණය කළ යුතු වුණා. කාලගුණ විද්‍යාඥයන්ට මාසිකව, වාර්ෂිකව ලැබෙන වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කළ හැකි වුවත් දෛනිකව ලැබෙන වර්ෂාපතනය විශ්ලේෂණය කර ගැනීමේ ගැටලු තියෙනවා. එනම්, දෛනික කාලගුණික තත්ත්වවල සැලකිය යුතු වෙනස්‌කම් ඇතිව තිබෙනවා.
 
 කාලගුණ - දේශගුණ විපර්යාස ගැන කතා කරනවා නම් ජලය සංචිත කර ගැනීම ගැනත් අප දැන් කතා කළ යුතුව තිබෙනවා. මොකද වැස්‌සෙන් මීට වඩා වැඩි වැඩක්‌ ගත යුතුව ඇති නිසා. ඊට උදාහරණ මම කියන්නම්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1860 ක්‌. මෙතැන ඝන කිලෝමීටර් 122 ක ජල ප්‍රමාණයක්‌ තියෙනවා. ගෙදර දොර භාවිතයට, කර්මාන්තවලට යනාදී වශයෙන් රටේ පාරිභෝජනයට අවශ්‍ය වන්නේ මෙයින් 10% යි.
 
 වසරකට අපට වැස්‌ස විදිහට ලැබෙන ජලයෙන් 60% විතර වාෂ්aපීකරණය වෙනවා. ඉතිරි 40% න් මුහුදට ගලාගෙන යනවා 30% ක්‌. ඉතිරි 10% ගෘහස්‌ත ජල පාරිභෝජනය ගොවිතැන් සහ කර්මාන්තවලට යොදවෙනවා සාමාන්‍යයෙන් 37% ක්‌ වතුර පොළව මතුපිට ගලාගෙන යනවා. එය අපි අනිවාර්යයෙන් අඩු කර ගත යුතුයි. අධික වැස්‌සක්‌ ලැබුණොත් පාංශූ සංරක්‌ෂණ වැරදි නිසා තමයි මතුපිට ජල ගලා යැම වැඩි වෙලා තියෙන්නෙ. මේ තත්ත්වය අඩු කර ඒ ඒa තැන්වල සංචිත කර පසේ ජල මට්‌ටම වැඩි කර ගත්තොත් පාංශූ ජල ප්‍රමාණය ඉතා ඉහළ යාවි. එය ගොවිතැන් සඳහා ඉතා වැදගත්. අපි හරියට ජලය කළමනාකරණය සහ සංරක්‌ෂණය සිදු කරනවා නම් අපිට ලැබෙන වර්ෂාපතනය හොඳටම ඇති. 
 
 ප්‍රශ්නය - කාලගුණ අනාවැකි කීම පහසු කාර්යයක්‌ද? ඒ සඳහා ඔබ සතුව ඇති තාක්‍ෂණය සහ සම්පත් ප්‍රමාණවත් ද?
 
 පිළිතුර -කාලගුණ අනාවැකි කීම අපි හැකිතාක්‌ නිවැරැදිව සිදු කරනවා. දෛනිකව, දින දහයකට, ඊළඟ කාලගුණික කාලසීමාවේදී කාලගුණ තත්ත්වය කෙබඳු ද වශයෙන් අපි දැනටමත් අනාවැකි නිකුත් කරනවා. මෝසම් කාල දෙකේදී මෝසම් කතිකාවත මගින් කාලගුණ අනාවැකි අපි නිකුත් කරනවා. ඒවා අපි කරන්නේ හැකිතාක්‌ දුරට කලාපයේ ගෝලීයව කාලගුණ විද්‍යා දැනුමත් භාවිතයට අරගෙන. හැකි උපරිම තාක්‍ෂණය ඒ සඳහා යොදාගන්නවා. ඇත්තම කාරණය තමයි වර්ෂාපතනය කියන්න කිසිදු මැෂිමක්‌ නැහැ. අපි කරන්නෙ වායුගෝලීය තත්ත්වයන් හා සුළං ධාරා, වළාකුළු තත්ත්වයන් අධ්‍යයනය කර, ඉදිරි දින කිහිපයේ වර්ෂාව ගැන "ගණිතමය ආකෘති" ඇසුරෙන් කාලගුණ අනාවැකි කීමයි. ඒ සඳහා තරල ගති විද්‍යාව භාවිතයට ගන්නවා. සුනාමියක්‌ වගේ දේවල් ගැන අපිට කියන්න බැහැ. සුනාමියක්‌ සඳහා අපි සලකන කලාපයේ මුහුද තුළ භූ කම්පනයක්‌ (රිච්ටර් 7 ට වැඩි) ඇතිවිය යුතුයි. ඒකට වෙලාවක්‌, අනාවැකියක්‌ කියන්න බැහැ. කෙටිකාලීන කාලගුණ අනාවැකි අපිට කියන්න පුළුවන් වුණත්, දිගුකාලීන අනාවැකි ගැන සාමාන්‍ය අදහසක්‌ පමණයි අපට දිය හැක්‌කේ. කොහොම වුණත් අනාවැකි ඉදිරිපත් කිරීමේ තාක්‍ෂණය තුළ අපි තව තවත් දියුණු විය යුතුයි. ලෝකයේ තත්ත්වයත් එක්‌ක තාක්‍ෂණිකව අපි ඉන්නෙ හුඟාක්‌ පහළ මට්‌ටමක. අපට තව දියුණු වේගවත් පරිගණක පද්ධති ලබා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. 
 
 දැනුම අතින් අපි ඉහළ මට්‌ටමක හිටියත් තවදුරටත් අපි ඒ අතින් දියුණු විය යුතුයි. කාලගුණ විද්‍යාව සඳහා ලංකාවේ පශ්චාත් උපාධි ලබාදීමක්‌ සිදුවන්නේ නැහැ. නමුත් කාලගුණවිද්‍යා සම්බන්ධව ආචාර්ය උපාධිය දක්‌වා අපට යා යුතුව තිබෙනවා. හේතුව ලංකාවේ විශවවිද්‍යාල කාලගුණ විද්‍යාවට අදාළව පශ්චාත් උපාධි කරන්න අවස්‌ථාවක්‌ නැහැ. ඒ සඳහා පිටරට යා යුතුයි. එයට ශිෂ්‍යත්ව පොරොත්තු ලේඛනයේ සිටිය යුතුයි. වසර පහකට රට ගියොත්, අපට වැඩ කරන්න නිලධාරීන් නැහැ. නමුත් ලෝකයේ කාලගුණ විද්‍යාව දියුණුම රටවල් ගත්තොත්, විද්‍යාඥයන්ගේ, කාර්ය මණ්‌ඩලයේ ධාරිතා සංවර්ධනය අත්‍යවශ්‍ය අංගයක්‌. අපට ඒ අඩුව විශාල වශයෙන් තිබෙනවා. ඉන්දියාවත් මේ විද්‍යාවෙන් ඉහළම තැනක ඉන්නවා. බහුතර විද්‍යාඥයන්ට ආචාර්ය උපාධිය තියෙනවා. ඇමරිකාව වගේ රටවල හැමදෙනාම ආචාර්ය උපාධිය ගත්ත අය. දියුණු රටවල තත්ත්වය එහෙමයි. අපේ ඒ දුරස්‌ථ බව වැඩියි. අපේ අයට ආචාර්ය උපාධිය දක්‌වා යන්න රට තුළ විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය විය යුතුයි. තාක්‍ෂණික උපකරණ නෙමේ ප්‍රශ්නය, දැනුමයි. එවිට පර්යේෂණ අංශය දියුණු කළ හැකියි. වර්ෂාවේ වෙනස්‌කම් ගැන එතකොට පර්යේෂණ සිදුවේවි. එහෙම නැතිව කාලගුණයට දොස්‌ නැඟීමෙන් පළක්‌ නැහැ. 100% ක්‌ නිවැරැදි අනාවැකි බලාපොරොත්තු නොවිය යුතුයි. මන්ද එසේ කරන්නට නොහැකි නිසා. 
  




පිපාසයට වතුර බිඳක් සොයා......









Comments